අ.ඩො.මි. 2.5ක් අස්ථානගතවීමේ සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය

අ.ඩො.මි. 2.5ක් අස්ථානගතවීමේ සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය

August 5, 2026   05:16 pm

මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් ලබාගැනීමේ සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 91 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව යන ආයතනවල නිලධාරීන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. 

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට හෝ මහ බැංකුවට දෝෂාරෝපණය කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විමර්ශන සඳහා අවශ්‍ය බැංකු ගිණුම් තොරතුරු සහ ඩිජිටල් සාක්ෂි ලබාගැනීමට 'MLA' ක්‍රමවේදය ඔස්සේ අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ සැම්බියාව යන රටවලින් තොරතුරු ඉල්ලා තිබේ. 

ඩිජිටල් දත්ත සුරක්ෂිත කිරීම වෙනුවෙන් 24/7 ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර සහායද ඉල්ලා ඇති බවත්, සැකකරුවන් හඳුනාගැනීමට අන්තර්ජාතික පොලීසිය සහ අදාළ රාජ්‍යයන් සමග ඒකාබද්ධව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මේ වන විට මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ 'Server' පරිගණකයේ දත්ත සුරක්ෂිත කර ඇති අතර, එම දත්ත පිටපත් කර විශේෂ විශ්ලේෂණයකට ලක් කරමින් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර සහයෝගිතාවේ ප්‍රතිඵලයක් ලෙස, වංචනිකයන් විසින් සකසන ලද ව්‍යාජ ගිණුම වෙත බැර කළ මුදල් සංසරණය වූ ආකාරය පිළිබඳ තොරතුරු අමෙරිකානු මූල්‍ය බුද්ධි ඒකකය විසින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය වෙත මේ වන විටත් ලබාදී ඇති බවත් අනාවරණය කළේය.