නොසුදුසු ගොඩනැගිල්ලක් නිසා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය අනතුරේ

නොසුදුසු ගොඩනැගිල්ලක් නිසා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය අනතුරේ

August 5, 2026   03:57 pm

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය නාරාහේන්පිට පිහිටි අවම පහසුකම්වත් නොමැති නොගැලපෙන ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම හේතුවෙන් බරපතළ පරිපාලන, සෞඛ්‍ය සහ ආරක්ෂක අර්බුද රැසක් මතුව ඇති බවට සේවක සංගම් චෝදනා කරයි. 

එමෙන්ම මේ හරහා දැවැන්ත රාජ්‍ය මුදල් නාස්තියක්ද සිදුව ඇති බව පෙන්වා දෙමින් "ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සුරැකීමේ සේවක එකමුුව" විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එහි සඳහන් වන පරිදි, පසුගිය වසර කිහිපය පුරා රාජ්‍ය භාණ්ඩාගාරයට දැවැන්ත ආදායම් දායකත්වයක් සැපයූ මෙම ආයතනය, වර්තමානය වන විට බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ නිසා දැඩි අගතියකට පත්ව ඇතැයි එම සේවක එකමුුව පෙන්වා දෙයි.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2026.07.02 දින සිදු කරන ලද පරීක්ෂාවකදී තහවුරු වී ඇත්තේ මෙම පරිශ්‍රයේ තාප අගයන් නිර්දේශිත සීමාවන් (TLVs) ඉක්මවා ගොස් ඇති බවය.

දැඩි උණුසුම නිසා සේවකයන්ට තාප ආඝාත, හෘද රෝග, ස්වසන රෝග සහ වකුගඩු ක්‍රියාකාරීත්වයට හානි වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවද සඳහන් වේ.

එමෙන්ම වර්ග අඩි 17,000 ක ඉඩකඩක් තුළ සේවකයින් 170 දෙනෙකු සහ බාහිර ආයතන නියෝජිතයින් පිරිසක් සේවය කිරීම නිසා එක් සේවකයෙකුට ලැබෙන්නේ ඝන අඩි 100 ක ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකි. 

එබැවින් වාත සංසරණය අවම වීම මෙන්ම අනාරක්ෂිත විවෘත වලවල්, වසා දැමුණු ගිනි නිවීමේ දොරටු (Fire Exits) සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම හේතුවෙන් ආයතනය තුළ ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව එම ලිපියේ සඳහන් වේ.

නිසි බදු ගිවිසුමක් හෝ රජයේ තක්සේරු වාර්තාවක් නොමැතිව මෙම ගොඩනැගිල්ල පවත්වාගෙන යන අතර, අනුමාන මාසික කුලිය රුපියල් ලක්ෂ 45 ත් 50 ත් අතර බව සඳහන් වේ.

මීට අමතරව, මධ්‍යම වායු සමන පද්ධතියක් (Central AC) සවි කරන තෙක් තාවකාලිකව ගෙන ඒමට සූදානම් කර ඇති Portable AC යන්ත්‍ර සඳහා යෝජිත වියදම ලක්ෂ 38 කට අධික මුදලක් බව පැවසේ.

පවතින දැඩි මානසික පීඩනය සහ අපහසුතා හේතුවෙන් ගත වූ මාස 08 ක කාලය තුළ සේවකයින් 11 දෙනෙකුම සේවයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් නීති අංශයේ කටයුතු සහ මැණික් ගැරීම් බලපත්‍ර නිකුත් කිරීම වැනි සේවාවන් මාස 4 ක පමණ කාලයක සිට ඇණහිට තිබේ.

තාවකාලික AC සඳහා කෙරෙන ජනතා මුදල් නාස්තිය වහාම නතර කර, මෙම නුසුදුසු නාරාහේන්පිට ගොඩනැගිල්ලෙන් ඉවත්ව වෙනත් සුදුසු ස්ථානයක් කඩිනමින් තෝරා ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

මෙම බරපතළ අක්‍රමිකතා, පෞද්ගලික හිතවත්කම් මත සිදු කළ ප්‍රසම්පාදන සහ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳව වහාම ස්වාධීන පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසටද එම ලිපියෙන් අවධාරණය කර ඇත.

එමෙන්ම කම්කරු දෙපාර්තමේන්තු වාර්තාවේ නිර්දේශවලට අනුකූලව සේවකයන්ගේ, සේවාලාභීන්ගේ සහ වටිනා දේපළවල ආරක්ෂාව තහවුරු කිරන ලෙසද ඉල්ලා තිබේ.

අන්තර් සමාගම් සේවක සංගමය, සේවක සුභසාධක සංගමය, සමඟි සේවක සංගමය සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවක සංගමය යන සංවිධාන ඒකාබද්ධව මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.