දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක්

දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක්

August 4, 2026   04:31 pm

දකුණු පළාතේ පිහිටා ඇති බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා තිබේ.

දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වූ බව සඳහන් වේ.

මීගමුව සහ මහර බන්ධනාගාරවල පසුගිය දා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හා සමාන තත්ත්වයක් දකුණු පළාත් බන්ධනාගාරවලද ඇති කිරීමට සූදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබි ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

ඒ අනුව බූස්ස, ගාල්ල, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල යන බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර තිබේ.

එමෙන්ම අවශ්‍යවුවහොත් හදිසි අවස්ථාවක වහා ක්‍රියාත්මක වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට යාන්ත්‍රණයක් සැකසීමට ද තීරණය කර ඇත.