ගිනිගත් රත්නපුර පොළ ගංවතුරටත් යටවෙයි

ගිනිගත් රත්නපුර පොළ ගංවතුරටත් යටවෙයි

August 4, 2026   11:57 am

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර මහජන පොළ පරිශ්‍රය නැවත වරක් ගංවතුරට යටවීම නිසා එහි වෙළෙඳ කටයුතුවල නිරත වෙළෙඳුන් දැඩි අපහසුතාවට පත්ව සිටී.

අයහපත් කාලගුණය හමුවේ මෙම වෙළෙඳ පරිශ්‍රය ගංවතුරට යටවූ දෙවන අවස්ථාව මෙය බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

හදිසි ගිනිගැනීමකට ලක්ව විනාශ වූ මෙම පොළ පරිශ්‍රය, මාස 03කට අධික කාලයක් ගතවී තිබුණද ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව වෙළෙඳුන් පවසයි.

බලධාරීන්ගේ මෙම නොසලකා හැරීම හමුවේ, විනාශ වූ ස්ථානයේම තාවකාලිකව තම වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමට වෙළෙඳුන්ට සිදුව තිබේ.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ස්ථිර ප්‍රතිසංස්කරණයක් සිදු නොවීම සහ පවතින ජල ගැලීම් හේතුවෙන් තමන්ගේ වෙළෙඳ භාණ්ඩ රැසකට හානි සිදුව ඇති බවත්, එමඟින් දෛනික ආදායම බරපතළ ලෙස පහත වැටී ඇති බවත් ය.

තමන් මුහුණ දී සිටින මෙම අර්බුදකාරී තත්ත්වයට වගකිවයුතු බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු සාධනීය හෝ ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවද වෙළෙඳුන් චෝදනා කර සිටී.