අයහපත් කාලගුණය ගැන විශේෂ සජීවි විකාශය
August 4, 2026 10:33 am
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර, ගත වූ පැය 12ක කාලය තුළ වර්ෂාපතනයේ යම් අඩුවක් වාර්තා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ විශේෂ සජීවි විකාශය ඉහතින් නැරඹිය හැකියි.
-----------------
UPDATE:11.48
පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටව පවුල් 500ක් පමණ අවතැන්ව තිබේ.
අවතැන් වූ ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථානවලට යොමුකළ බව ගම්පොළ උඩපළාත හා දොළුව ප්‍රාදේශීය ලේකම්වරු සඳහන් කළේය.
UPDATE:11.18
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
එබැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවතදැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලබයි.
UPDATE:11.10
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නෝටන්වලට මි.මී 258.6ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය.
UPDATE:10.20
වටවල ප්‍රදේශයට දවස් තුනකට මි.මී. 600ට වැඩි වැසි ලැබී තිබේ.
UPDATE:10.15
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (04) දින අලුයම විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.
UPDATE:10.10
ඉදිරි පැය 24 තුළ සබරගමුව පළාතේ,මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල මි.මී 75ක අපේක්ෂා කෙරේ.
සබරගමුව පළාත සහ මහනුවර නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ වැසි ඉදිරි පැය 24 තුළ ඇතිවීමේ හැකියාව පවතී.
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය වැඩි වීමට හැකියි.
