ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද පාරට

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද පාරට

August 4, 2026   10:16 am

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද (04) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ අද දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බවය.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සමඟ අයවැයට පෙර පැවති සාකච්ඡාවේදී ද ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ බවය.

තවද, ගුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාදවීම හේතුවෙන් ලක්ෂයකට ආසන්න ගුරු පිරිසක් අසාධාරණයට ලක්ව ඇති බවත්, මොඩියුලර් ඇගයීම් වෙනුවට විභාග ක්‍රමයක් හඳුන්වාදීමෙන් ගැටලු රැසක් මතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම, ගුරුවරුන්ට පවතින අධික ලේඛන කටයුතු (කොළ පිරවීම) බරපතළ පීඩාවක් බවත්, විදුහල්පති සේවයේ පවතින ගැටලු සඳහා ද මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.