අයහපත් කාලගුණයෙන් පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතී

අයහපත් කාලගුණයෙන් පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතී

August 3, 2026   01:18 pm

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග, නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත. 

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පහත උපදෙස් ලබා දී ඇත.

- සිය ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව ගමන් කළ හැකි සිසුන්ට එසේ පිටත්ව යා හැකිය.

- අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නිවෙස් වෙත යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර විශ්වවිද්‍යාල නේවාසිකාගාර පරිපාලනය දැනුවත් කර රැඳී සිටිය හැකිය.

- අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල (boarding places) රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම්, ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙස නේවාසිකාගාර පාලනාධිකාරියට උපදෙස් ලබා දී ඇත.

- කිසිදු සිසුවෙකු නේවාසිකාගාරවලින් පිටව යාමට බල නොකරන බව ද විශ්වවිද්‍යාලය අවධාරණය කරයි.

කාලගුණ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රජාවට සිය ආරක්ෂාව පිළිබඳ උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය පාලන අධිකාරිය ඉල්ලා සිටී.