දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

August 3, 2026   12:36 pm

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 03ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ යන ප්‍රදේශ සඳහා මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශය සඳහා මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රදේශ සඳහා ද මෙලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්ක අනුව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ:

මහනුවර දිස්ත්‍රික්කය:

දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය:

දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ දෙහිඕවිට යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන සහ කෑගල්ල ප්‍රදේශය සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදනයක් ද නිකුත් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය:

කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර හඟුරන්කෙත ප්‍රදේශය සඳහා අදියර 1 යටතේ නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය:

රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර ඇත.

මෙම නිවේදන අද (03) මධ්‍යහ්න 12:00 සිට හෙට (04) මධ්‍යහ්න 12:00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා වලංගු වේ.

නායයෑමේ ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හෝ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල දිගින් දිගටම වර්ෂාව පවතින්නේ නම් වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.