'හරක් කටාගේ' ඇප ඉල්ලීමේ නියෝගය කල්යයි

'හරක් කටාගේ' ඇප ඉල්ලීමේ නියෝගය කල්යයි

August 3, 2026   11:26 am

UPDATE:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (03) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ඔවුන්ට පවතින නඩු හා පෙරවැරදි සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වලින් වාර්තා ලබාගෙන කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවත් මෙම අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති නිසා ඇප ඉල්ලීම සලකා බැලීම සුදුසු නොවන බවත් මෙහිදී රජයේ නීතිඥවරයා සදහන් කළේය.

මෙම විත්තිකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් නැවත අධිකරණයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ලිඛිතව විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

කෙසේ වෙතත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජාලිය සමරසිංහ, හරිත් හෙට්ටිආරච්චි සහ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා යන යන නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කළ පමණින් මෙම විත්තිකරුවන්ට අදාළ ඇප ඉල්ලීම සළකා බැලීම පසෙක දැමීමට හැකියාවක් නොමැති බව පැවසීය.

තම සේවා දායකයින් මේ වන විටත් වසර තුනකට වැඩි කාලයක් රිමාන්ඩ්භාරයේ පසුවන බවත් ඒ අනුව ඔවුන්ගේ ඇප ඉල්ලීම් සළකා බලා තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20වනදා ප්‍රකාශයට පත් කරන බවත් නියෝග කළේය.

මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා තිබේනම් ඒවා සතියක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

මේ අතර මෙම සැකකරුවන්ට අදාළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැඳවුම්භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසුවන 'හරක් කටා' නමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

==============

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම සළකාබලා ඇති අතර මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වනදා සිදුකරන බවත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

මේ අතර මෙම සැකකරුවන්ට අදාළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැඳවුම් භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසුවන 'හරක් කටා' නමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් මිනිසුරුවරයා නියෝග කර ඇත.