නාමල් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ල කැඳවීමට දින දෙයි

නාමල් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ල කැඳවීමට දින දෙයි

July 30, 2026   10:09 am

UPDATE:

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ඉදිරිපත් වී තිබූ පැමිණිල්ල පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබූ බවයි.

පසුව ඉකුත් වසරේ ඔක්තෝබර් මස 14 වනදා නීතිපතිවරයා විසින් සිදුකරන ලද සාකච්ඡාවකදී මීට අදාළව පෞද්ගලික බැංකු දෙකක ගිණුම් වාර්තා ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය වසර 11ක් පමණ පැරණි විමර්ශනයක් බව පෙන්වා දී ඇත.

එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම බැංකු වාර්තා ලබාගැනීම සඳහා කොපමණ කාලයක් ගතවේ දැයි විමසා ඇත.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා පවසා ඇත්තේ කඩිනමින් බැංකු වාර්තා ලබාගෙන විමර්ශන සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 29 වනදා යළි කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් දී තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 1ක මුදලක් පෞගලික සමාගමකට යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා  සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 29 වෙනිදා ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.