වත්තල, පල්ලියවත්තේ වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

වත්තල, පල්ලියවත්තේ වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

July 30, 2026   05:46 am

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්  සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පසුගිය ජුලි මස 23 වන දින රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ මිනීමැරීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන 'මට්ටක්කුලියේ කුඩු රොෂාන්' නැමැත්තා ඉලක්ක කරගනිමිනි.

රොෂාන් නැමැත්තාගේ සහෝදරයකුගේ දරුවකුගේ උපන්දින සාදයක් අතරතුර මෝටර් රථයකින් පැමිණි අයෙක් හිස් වැසුමක් පැලඳ එම උත්සව ශාලාව තුළටම ගොස් අදාළ පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

කෙසේවෙතත් ඉලක්කය වැරදීමෙන් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ, රොෂාන් නැමැත්තා අසල සිටි අයෙකුට බව පසුව අනාවරණය වුණි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණි. 

පසුව අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර, ඊයේ (29) සවස සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ දී සැකකරුවන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබාගැනීමට සිය ගිණුමෙන් මුදල් බැර කරමින් අපරාධය සඳහා අනුබල දුන් සැකකරුවකෙු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 24ක් වන මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.