විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය

July 29, 2026   01:54 pm

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.

අද (29) උදෑසන 11 පමණ පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, නීතිඥවරු සියලුදෙනාම අත් ඔසවමින් මෙයට විරෝධය දැක්වූ බවය.

ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වන බව සඳහන් කර සිටි රජීව් අමරසූරිය මහතා අද දින පැමිණි සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥයින් මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.

ආණ්ඩුව ගෙන ඇත්තේ, බුද්ධිමත් නොවන තීරණයක් බවද සඳහන් කර සිටි නීතිඥ රජීව් අමරසූරිය මහතා මෙය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් බවද පැවසීය.

ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත්, මහා සභාවේ එකඟත්වය හිමිවීම තුළ මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමර්ග තිබුණාට වඩා හොඳින් ගන්නා බවත් රජීව් අමරසූරිය මහතා කියා සිටියේය.

ආණ්ඩුව සිදුකිරීමට යන මෙම යෝජනාව අපරාධයක් බවද පැවසු ඒ මහතා මෙය නැවැත්විය යුතු බවත් අධිකරණ පද්ධතියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිඵල හිමිවිය හැකි බවද රජීව් අමරසූරිය මහතා පැවසීය.

ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති මෙම අමුතු යෝජනාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් අපහසුතාවයට පත්වීමට සිදුවන පැවසූ ඒ මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ විනිසුරුවන් අපහසුතාවයට පත්නොකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් ද සැලකිලිල්ලට ගෙන මෙය නැවැත්විය හැකි බවත් එසේ නොමැති නම් ජනමත විචාරණයකට යායුතු බවත් රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

මාස දෙකක කාලයක් පුරා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම යෝජනාවට විරෝධය පළ කලද ආණ්ඩුව මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තවමත් අවස්ථාවක් නොදුන් බවද සඳහන් කර සිටි එම සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා අද (29) සවස 5ට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවද පැවසීය.

"අපිව කෙටි කාලයකින් අමතක කළත් අපි අපේ යුතුකම ඉෂ්ට කරනවා. අපිව පැත්තට දාලා යන්න හැදුවත්, අපිට මඩ ප්‍රහාර ආවත් අපි ඒවට සැලෙන්නේ නෑ ඉදිරියටම යනවා. අද දිනෙය් සවස 5 අධිකරණ ඇමති තුමා හමුවෙනවා. එතුමාත් අපේ කෙනෙක්. එතුමා ඇමති කෙනෙක් නොවී නීතිඥ සංගමයේ සභාපති වුණානම් එතුමා මීට වඩා කෑ ගහන්න ඉඩතිබුණා." 

මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, ආණ්ඩුවේ මෙම යෝජනාවට නීතිඥ සංගමයේ සමාජිකයින් ඒකමතිකව සිය විරෝධය පළ කළ බවය.