69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

July 28, 2026   07:32 pm

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද  (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.    

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විධායක, ඉංජිනේරු, සැපයුම්, නාවික පාබල, විදුලි හා විද්‍යුත් සහ විනයාරක්‍ෂක යන අංශ වෙනුවෙන් 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන්  43ක් සහ ශිෂ්‍යභට නිලධාරිනියන් 04ක් ඇතුළු ශිෂ්‍යභට නිලධාරීන් 47 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති විසින් මෙහිදී සිදු කෙරිණි. 

එහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාව වෙත එක්වීම සඳහා අයදුම් කළ 625ක් පමණ අයදුම්කරුවන් අතරින් නාවික හමුදාවට එක්වීම සඳහා අවස්ථාව හිමි කරගත් ශිෂ්‍යභට නිලධාරීන් 47 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත නායකත්වය නියෝජනය කරන බව සඳහන් කළේය. 

ශිෂ්‍යභට නිලධාරින් හට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබාදෙමින් විනය, නායකත්වය සහ වෘත්තීයභාවයෙන් පිරිපුන් නිලධාරීන් ලෙස ගොඩනැංවීමට නාවික හමුදාව කැපවී සිටින බවද, අවධාරණය කරන ලදි.

සමුද්‍රීය ස්වෛරීභාවය ආරක්‍ෂා කරගනිමින්, ජාතියේ ගෞරවය රැකගැනීම සඳහා අවංකභාවයෙන්, ධෛර්යයෙන් හා පරාර්ථකාමීව අඛණ්ඩව සේවය කිරීම ගෞරවනීය වගකීමක් බවට පෙන්වාදුන් නාවික හමුදාධිපති, මෙම පත්වීම් ලිපිය නාවික හමුදාව ඔවුන් කෙරෙහි තබන ලද විශ්වාසයේ සංකේතයක් බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම, සිය තරුණ දූ පුතුන් නාවික හමුදාවට එක්වීම සඳහා දිරිමත් කල ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත නාවික හමුදාධිපති සිය ප්‍රණාමය පුදකරන ලදි.

තවද, මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලද ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් හා ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.