දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි ගැන අවසන් තීරණය අද සවස

දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි ගැන අවසන් තීරණය අද සවස

July 27, 2026   02:44 pm

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

අද දහවල් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ බව තහවුරු කළේය.

පවතින තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා අද ප.ව. 4ට විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කැඳවා ඇත. 

මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන් පරිදි, මීට වසර 35-40කට පෙර සිට දෙවිනුවර ඇසළ පෙරහැරට කාවඩි නර්තනය ඇතුළත්ව තිබුණද, පසුගිය වසර කිහිපය තුළ එහි බරපතළ විනය පිරිහීමක් දක්නට ලැබී ඇත. 

කාවඩි නර්තන ශිල්පීන්ගේ ඇඳුම්වල පවතින ගැටලු සහ සමහරක් පුද්ගලයන් අඩ නිරුවතින් හෝ රහස් ප්‍රදේශ පෙනෙන අයුරින් අශෝභන ලෙස නර්තනයේ යෙදීම, නර්තන ශිල්පීන් බහුතරයක් අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම යනාදී ඇඳුම් පැළඳුම්වල පවතින අශෝභනත්වය ඇතුළු ප්‍රධාන වූ හේතු කිහිපයක් ඉදිරිපත් කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය වසරේ පෙරහැර නිමාවීමෙන් පසු, බස්නායක නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සංගමයක් පිහිටුවා ඇත. 

එමඟින් විනය විරෝධී ලෙස හැසිරුණු කණ්ඩායම් කිහිපයක් මෙවර පෙරහැරෙන් ඉවත් කර, අනෙක් පිරිසකට පමණක් අවස්ථාව දීමට මීට පෙර තීරණය කර තිබුණි.

නමුත් පිරිසකට පමණක් අවස්ථාව දීමේ තීරණයත් සමග, ඊට සම්බන්ධ පාතාල කණ්ඩායම් කිහිපයක් අතර යම් සංවාද සහ නොසන්සුන්තා කිහිපයක් ඇතිව ඇති බවත්, එනිසා පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුවූ බව පැවසීය.

"පෙරහැර පිළිබඳ සම්පූර්ණ බලතල තියෙන්නේ පොලිසියට නෙමෙයි. පොලිසියට තියෙන්නේ ආරක්ෂාව සැපයීම පමණයි. එහි පරිපාලන බලතල තියෙන්නේ දිසාපතිවරයාටයි" ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කාවඩි අංගය පමණක් පෙරහැරෙන් ඉවත් කිරීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණද, අද උදෑසන දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් සියලුම කණ්ඩායම්වලට පෙරහැරට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පෙරහැරේ ආරක්ෂාව උදෙසා කාවඩි නර්තන කණ්ඩායම් සහභාගි කරවා ගන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් සහ තීරණාත්මක එකඟතාව අද සන්ධ්‍යාවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.