ඉන්දු - චීන විදේශ අමාත්‍යවරුන්ගේ හමුව
සයුරෙන් එතෙර

ඉන්දු - චීන විදේශ අමාත්‍යවරුන්ගේ හමුව

July 25, 2026   12:21 pm

චීනය සහ ඉන්දියාව එකිනෙකා දෙස තර්ජනයක් ලෙස නොව අවස්ථාවක් ලෙසත්, ප්‍රතිවාදීන් ලෙස නොව පාර්ශ්වකරුවන් ලෙසත් බැලිය යුතු බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී ප්‍රකාශ කර තිබේ. 

ඔහු මේ බව පවසා ඇත්තේ මැනිලා නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හමුවූ අවස්ථාවේදීය. 

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, බහුපාර්ශ්වික වේදිකාවලදී සමීපව කටයුතු කිරීම සහ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පෙන්වාදී තිබේ.

දෙරට අතර ආයතනික මට්ටමේ ගනුදෙනු නැවත ආරම්භ වී ඇති බවත්, ද්විපාර්ශ්වික වෙළඳාම නව ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් චීන විදේශ ඇමති වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම සඳහා දේශසීමා ප්‍රදේශවල ස්ථායීතාව තහවුරු කිරීම පූර්ව කොන්දේසියක් බව චීන විදේශ ඇමති වෙත පෙන්වා දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබේ.