කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය සංවිධාන කටයුතු සහ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්
July 24, 2026 05:46 pm
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය - 2026 සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (24) පැවැත්විණි.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය.
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය උත්කර්ෂවත්ව සහ අභිමානවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය මැදිහත් වීම, සහාය ලබා ගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම මෙන්ම පෙරහර සංවිධාන කටයුතුවල වත්මන් ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට අනුග්‍රහය දක්වන සියලුම රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින් ඊට ලබා දෙනු ලබන දායකත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය ජලය, විදුලිය, සනීපාරක්ෂක, ප්‍රවාහන කටයුතු ඇතුළු පහසුකම් සැලසීම සහ පෙරහරට අලි ඇතුන් ලබා ගැනීම කෙරෙහිද මෙහිදී විශේෂයෙන් අවධානය යොමු විය.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඉතා සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය උපරිම සහාය සහ මැදිහත් වීම රජය ලබා දෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේය.
කන්ද උඩරට විශාලතම ආගමික සහ සංස්කෘතික මංගල්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය දක්වන මැදිහත් වීම සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශ්වවල ආශිර්වාදය හිමි වන බව මල්වතු මහා විහාරයීය මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පැවසූහ.
මෙවර කුඹල් පෙරහර මංගල්‍යය අගෝස්තු මස 18වෙනි දා සිට 22වෙනි දා දක්වා පැවැත්වීමට නියමිත අතර, රන්දෝලි පෙරහර මංගල්‍යය අගෝස්තු මස 23වෙනි දා සිට පැවැත්වේ.
අවසන් මහා රන්දෝලි පෙරහර 27වෙනි දා රාත්‍රී වීථි සංචාරය කෙරේ. අනතුරුව අගෝස්තු 28වෙනි දින අලුයම දිය කැපීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් පසු, එදින දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.
