මට්ටක්කුලියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
July 23, 2026 10:33 pm
වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෝටර් රථයකින් පැමිණි බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
