දෙවිනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව තර කෙරේ

දෙවිනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව තර කෙරේ

July 23, 2026   03:29 pm

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා ඇති බව පොලීසිය පවසයි.

මීට අමතරව, බුද්ධි අංශ නිලධාරීන්ද ආරක්ෂක රාජකාරි සඳහා යොදවා තිබේ.

ගන්දර පොලිස් වසමේ පිහිටි දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ පළමු පෙළි පෙරහර අද (23) ආරම්භ වන අතර, ජූලි 29 වැනිදා මහා පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව එය අවසන් වේ. 

කාවඩි පෙරහර ජූලි 28 වැනිදාත්, රන්දෝලි පෙරහැර ජූලි 29 වැනිදාත් පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

එම දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ–කතරගම ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව, මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් කරන වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර–යටියන මාර්ගයට පැමිණ, කැකණදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකිය.

තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරන වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර, දික්වැල්ල–වේහැල්ල මාර්ගය ඔස්සේ කැකණදුර හන්දියට පැමිණ කැකණදුර–මාතර මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකිය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් විශාල පිරිසක් පෙරහැර නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, මහජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව මෙන්ම රථවාහන පාලනය සඳහා මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.