පොදු හතුරාට එරෙහිව කඳවුරු බැඳීම

පොදු හතුරාට එරෙහිව කඳවුරු බැඳීම

July 23, 2026   11:46 am

මෙරට වත්මන් දේශපාලන කේෂ්ත්‍රයේ ඓතිහාසික දිනයක් ලෙස අද (23) දිනය සැලකිය හැකි බව දේශපාලන විචාරකයින් පවසයි. 

පොදු හතුරාට එරෙහිව කඳවුරු බැඳීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ අද දිනයේ පොදු අරමුණක් වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ රැස්වීමකට එක්වීමට නියමිතය.

මේ සඳහා ආරාධනා ලැබ සිටින, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාඨලී චම්පික ඇතුළු පිරිසක් එක්වෙනු ඇත.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්වීමට නියමිතව ඇත්තේ, අධිකරණයේ ස්වාධීනත්වයට ආණ්ඩුව සිදුකරන අතපෙවීම් නැවතැවීමට බලකිරීම සම්බන්ධවයි.

කෙසේවෙතත් මෙම කාරණයට අමතරව වත්මන් දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානයට යොමුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

දීර්ඝ කාලයකට පසුව විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන බලවේග මේ ආකාරයෙන් පොදු අරමුණක් වෙනුවෙන් එක්වීම ආණ්ඩුව තැති ගැනීමකට ලක්කරන්නක් බවද දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. 

එම නිසා ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මෙම සාකච්ඡාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ඇත.

බොහෝ පිරිසක් මෙම සාකච්ඡාව අවසානයේ සුබවාදී බලාපොරොත්තුවකට එළැඹෙනු ඇති බවට විශ්වාසය පළ කරන අතර, අද පස්වරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව පිළිබඳව පුරෝකථන සිදුකිරීමට මෙය කාලය නොවනු ඇත.

මෙම සාකච්ඡාව සඳහා එක්වෙන කණ්ඩායම් පොදු අරමුණකින් කටයුතු කරන්නේ නම් වර්තමානයේ රට හමුවේ පවතින අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා පිටුවහලක් වනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

එසේ වුවහොත් මෙය ශ්‍රී ලාංකික දේශපාලනයේ නව හැරවුම් ලක්ෂයක් වනු ඇති අතර, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම නියෝජිතයින් ද මෙම පිරිස් සමඟ අත්වැල් බැඳගනු ඇති බව ඔවුන්ගේ මතයයි.