දෙවුන්දර වෙඩි තැබීමට ආ මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී
July 23, 2026 08:07 am
මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගිය මෝටර් රථය දික්වැල්ල ප්රදේශයේ දී සොයා ගෙන තිබේ.
ඊයේ (22) රාත්රියේ නව බෙලිඅත්ත මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, එය පරීක්ෂාවට උත්සාහ කිරීමේ දී රියදුරු විසින් නොනවත්වා ධාවනය කර ඇත.
පසුව මෝටර් රථය කාණුවකට වැටී නැවතී ඇති අතර, එහිදී රියදුරු පලාගොස් ඇතැයි අද දෙරණ කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේය.
පසුව සිදුකළ පරීක්ෂාවේ දී අදාළ මෝටර් රථය දෙවුන්දර වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය බවට පොලීසියට තහවුරු වී තිබේ.
පෙරේදා (21) රාත්රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් දෙවිනුවර, ගන්දර ප්රදේශයේ නිවසකට වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබුණි.
ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.
වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ වෙඩිතබා පලා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
