යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් 

යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් 

July 22, 2026   01:10 pm

update:

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 25 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (22) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන බැවින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි. 

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 25 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කර තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන එම අභියාචනය අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම විරෝධය මතු කරනු ලැබීය.

තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මුදල් විශුද්ධිකරණ පනත යටතේ වූ නඩුකරයේ ඇතුළත් "කුමන්ත්‍රණය"  නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා පවසා ඇත.

ඒ අනුව, අභියාචනාධිකරන නියෝගය ඉවත් කර තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන "කුමන්ත්‍රණය" නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
=================

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කර තිබේ.

යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන එම අභියාචනය අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම විරෝධය මතු කරනු ලැබීය.