කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට අනුමැතිය

කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට අනුමැතිය

July 21, 2026   05:13 pm

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට විදේශ ප්‍රේෂණ මත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් 2022 මැයි 1 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වූ යෝජනා ක්‍රමය පිළිබඳව කෝපා කාරක සභාව විසින් සිදුකළ විමර්ශනයට අදාළ වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට අනුමැතිය ලබාදී ඇත.

එමෙන්ම, කෝප් කාරක සභාව විසින් සිදුකළ විමර්ශනවලදී හඳුනාගත් සිද්ධි සම්බන්ධයෙන් සභාගත කරන ලද වාර්තාවල ඇතුළත් කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමටද පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා අල්ලස් කොමිසම වෙත යොමු කිරීමට නියමිතය.

2026 අප්‍රේල් 7 වන දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 119(4) සහ 120(4) සඳහා සිදුකළ සංශෝධනවල විධිවිධාන අනුව මෙම අනුමැතිය ලබාදී තිබේ.