රජය මිලදී ගත් වී ප්‍රමාණය ගැන හෙළිදරව්වක්
July 21, 2026 03:32 pm
රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග ඊයේ (20) වන විට වී මෙට්‍රික් ටොන් 1,910ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අද (21) මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය 13 වැනි දින සිට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග වී අලෙවි මණ්ඩලය විසින් මේ වන විට රුපියල් මිලියන 229.35ක් මේ වෙනුවෙන් යොදවා ඇති බවය.
රජයේ අපේක්ෂාව වනුවේ වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම බවත් ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඔඩපන ණය යටතේ රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇතැයිද මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"අපි වී ගබඩා 143ක් විවෘත කිරීමට නියමිතව තිබුණා. නමුත් තාමත් හැමතැනකම අස්වනු නෙලන්නේ නෑ. දැනට වී ගබඩා 71ක් විවෘත කරලා තිබෙනවා. එම 71න් ඊයේ වන විට මෙට්‍රික් ටොන් 1,910ක් මිලදී අරගෙන තිබෙනවා. වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් මිලියන 229.35ක් ඒ වෙනුවෙන් යොදවලා තිබෙනවා. අපේ බලාපොරොත්තුව වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගන්නට. ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය මිලියන 6,000ක් වෙන් කරලා තිබෙනවා ඔඩපන ණය යටතේ තවත් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව වී ලැබෙන ප්‍රමාණයට මිලදී ගැනීම් කරනවා මේ මෙට්‍රික් ටොන් 1,910න් මෙට්‍රික් ටොන් 1,224ක්ම මිලදී ගෙන තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව අනුරාධපුයේ තාම ඇවිල්ලා තිබෙන්නේ මෙට්‍රික් ටොන් 150යි, වව්නියාවේ මෙට්‍රික් ටොන් 201, කිලිනොච්චියේ 163යි ඉතුරුවා ඇවිත් තියෙන්නේ මේ ගබඩා විවෘත කරලා තියෙන ඒවාවලින් සූළු ප්‍රමාණවලින්. සමස්තයක් හැටියට තමයි මෙට්‍රික් ටොන් 1910ක් රජය විසින් වී මිලදී අරගෙන තිබෙන්නේ."
