රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොවෙයි - අගමැති හරිනි
July 21, 2026 02:06 pm
මෙරට ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට යමින් පවතින පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව 2026 අමතමින් ඊයේ (20) කොළඹ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"වර්තමාන ගෝලීය අස්ථාවරත්වය හමුවේ කළමනාකරණ ගණකාධිකරණය, හුදෙක් මුල්‍ය වාර්තාකරණයක් පමණක් නොවෙයි, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම නිවැරදි උපායමාර්ගික තීන්දු ගැනීමට උපකාරී වන ප්‍රධානතම මෙවලමක්. රටේ ජනතාවගේ කැපවීම් සහ රජය ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට මුල්‍ය අර්බුදයෙන් සාර්ථකව ගොඩ එමින් තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන, සංචාරක සහ මුල්‍ය ක්ෂේත්‍රයන්හි ඇති වූ ප්‍රගතියත් සමඟ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් 'ඉහළ මධ්‍ය ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගනිමින් තරඟකාරී සහ සබලසම්පන්න ආර්ථිකයක් ගොඩනැගීමේ අවස්ථාව රට හමුවේ තිබෙන අභියෝගයයි.
පසුගිය කාලසීමාව තුළ ඇතැම් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ සිය වාර්ෂික මුල්‍ය ප්‍රකාශන හා විගණන වාර්තා ඉදිරිපත් කර තිබුණේ නැහැ. වත්මන් රජය සිදුකළ මැදිහත්වීම් හමුවේ එම වාර්තා යාවත්කාලීන කිරීමට පියවර ගත්තා. මින් ඉදිරියට නියමිත වේලාවට මුල්‍ය වාර්තා ලබා නොදෙන සහ නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කරන සියලුම ආයතන හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොවෙයි. සාක්ෂි, දත්ත සහ විද්‍යාත්මක පදනම මතයි. වර්තමාන ගෝලීය අවශ්‍යතාවලට අනුකූලව සාම්ප්‍රදායික ගණකාධිකරණයේදී මගහැරෙන පාරිසරික හායනය සහ සමාජීය පිරිවැය ද සලකා බැලීම වැදගත් බව මම විශ්වාස කරනවා.
රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ අංශයට වෘත්තීය පුහුණු පාඨමාලා සහ වසරක ආයතනික පුහුණුව (Internship) ඇතුළත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා රටේ පිළිගත් ආයතනවල, සංවිධානවල සහය රජයට අවශ්‍යයි."
ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සමඟ පෙරට යන නව ලොවට ගැලපෙන සදාචාරාත්මක හා උපායමාර්ගික චින්තනයෙන් යුතු වෘත්තිකයන් බිහි කිරීමේදී CMA ආයතනය ඇතුළු වෘත්තීය ආයතන ලබාදෙන දායකත්වය අගය කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
