ගයානාවේ මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී 27ක් මරුට - 83ක් අතුරුදන්
July 21, 2026 11:28 am
දකුණු අමෙරිකානු රටක් වන ගයානාවේ (Guyana) වෙරළට ඔබ්බෙන් මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
'එම්.වී. බැරිමා' (MV Barima) නම් මෙම බෝට්ටුවේ ගමන් කළ තවත් 83 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් පිලිප්ස් (Mark Phillips) ප්‍රකාශ කර තිබේ.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් පසු මේ වන විට කුඩා දරුවන් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 69 දෙනෙකු බේරාගෙන ඇති බව සඳහන් වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි 179 දෙනෙකු ගමන් කර ඇති බවට තහවුරු වී ඇත.
දිවි බේරාගත් අයෙක් පවසා ඇත්තේ විශාල රල පහරක් වැදීමෙන් බෝට්ටුව එකවරම පැත්තකට ඇලවී තත්පර කිහිපයකින් ජලයෙන් පිරීගිය බවයි.
මේ අතර බෝට්ටුවේ කපිතාන්වරයා සහ තවත් කාර්ය මණ්ඩල සේවකයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද සඳහන් වෙයි.
මේ හේතුවෙන් කපිතාන්වරයා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, නොසැලකිලිමත් ලෙස කටයුතු කළ අය සඳහා උපරිම දඬුවම් දෙන බව එරට රජය පවසා තිබේ.
අතුරුදන්වූවන් සෙවීම සඳහා ප්‍රංශ හමුදාවේ කිමිදුම්කරුවන් සහ වෛද්‍යවරුන් පිරිසක්ද සහාය වෙමින් සිටින බව සඳහන් වෙයි.
