ප්‍රදේශ රැසකට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ රැසකට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම්

July 16, 2026   11:54 am

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

අද (16) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට (17) පෙ.ව. 11.00 දක්වා ඉදිරි පැය 24 පුරා වලංගු වේ.

පවතින සක්‍රීය මෝසම් තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර  වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාවට අවදානම පිළිබඳව සූදානමින් පසුවන ලෙස දැනුම් දී තිබේ.

එම ප්‍රදේශ වන්නේ, උතුරු පළාත, උතුරු-මැද පළාත, වයඹ පළාත හා මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයි.

මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවයි.

සුළගේ වේගය ඉහළ යාමත් සමඟ අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට බෙහෙවින් රළු විය හැක.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව ද විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.