මුඛ පිළිකාවලින් ලංකාවේ දිනකට පුද්ගල මරණ 3ක්

මුඛ පිළිකාවලින් ලංකාවේ දිනකට පුද්ගල මරණ 3ක්

July 16, 2026   10:24 am

මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ගල මරණ තුනක් සිදුවන බව මුඛ හා හනුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය තනුජා දක්ෂණී පතිරාජ මහත්මිය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පුරුෂ පක්ෂය අතර බහුලවම දැකිය හැකි පිළිකා වර්ගය මුඛ පිළිකාව වන අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා වර්ග 10 අතරට ද මුඛ පිළිකාව ඇතුළත් වී ඇති බව ඇය සඳහන් කරයි.

දුම්කොළ, දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය මුඛ පිළිකා ඇති වීමට ප්‍රධානතම හේතු වී අතර විශේෂයෙන්ම බුලත් විට හැපීමේදී භාවිත කරන පුවක්වල අඩංගු පිළිකා කාරක ඉතාම භයානක මෙන්ම ප්‍රබල මට්ටමක පවතින බව ද වෛද්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

දෛනික රැකියාවල නිරත වන විශේෂිත ක්ෂේත්‍ර කිහිපයක ප්‍රජාව මේ සඳහා වැඩි වශයෙන් ගොදුරු වන බව ද ඇය පැවසීය.

ඒ අතර, වතුකම්කරු ජනතාව, ධීවර ප්‍රජාව, මැණික් හා පතල් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රජාව සහ රියදුරන් වේ.

රැකියා පරිසරය තුළ ඇති වන අධික ආතතිය, විඩාව සහ වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා මෙම පිරිස් බහුලව බුලත් විට සැපීමට, දුම්කොළ සහ දුම්වැටි භාවිතයට පුරුදුව සිටීම මේ සඳහා මූලික හේතුව වී ඇති බව වෛද්‍ය තනුජා දක්ෂණී පතිරාජ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එබැවින් මෙම විනාශකාරී පුරුදුවලින් ඈත් වී මුඛයේ ඇති වන වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.