ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කින් ඉහළට
July 14, 2026 06:02 am
මැදපෙරදිග නැවතත් උද්ගත ව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.29කින් හෙවත් 9.59%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30ක් ලෙස සටහන් ව ඇත.
එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 6.73කින් හෙවත් 9.42%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14ක් ලෙස සටහන්ව තිබේ.
බ්‍රෙන්ට් බොරතෙල් මිලෙහි මෙම වැඩිවීම මිල අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම එක්දින වර්ධනය සහ ජූනි 12 වැනිදායින් පසු සටහන් වූ ඉහළම මිල ද වන බව වාර්තා වේ.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීමට අමෙරිකාවට මැදිහත් වීමට ඉඩ නොදෙන බවත්, අවසරයකින් තොරව ඒ හරහා යාත්‍රා කිරීමට එක්සත් ජනපදය දරන ඕනෑම උත්සාහයකට තමන් ප්‍රතිචාර දක්වන බවත් ඉරානය සඳහන් කර සිටී.
කෙසේවෙතත් හෝමූස් සමුද්‍ර සන්ධිය සඳහා ගාස්තු අය කිරීමට තමන් විරුද්ධ වන බව පවසමින් එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිතායතනය ට්‍රම්ප්ගේ යෝජනාවට එරෙහිව අදහස් දක්වා ඇති අතර මෙලෙස අනිවාර්ය බදු හඳුන්වා දීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද අවධාරණය කළේය.
පෙබරවාරි අගභාගයේදී ගැටුම ආරම්භ වීමට පෙර, ගෝලීය දෛනික තෙල් සහ ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරුණි.
ජූනි මාසයේදී එකඟ වූ සටන් විරාමය අතරතුර නෞකා ගමනාගමනය නැවත වැඩිවීමට පටන් ගෙන තිබූ නමුත් මෙම නොසන්සුන්තා වර්ධනය වීමත් සමඟ එය නැවත මන්දගාමී වී තිබේ.
