විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් සම අවස්ථාව

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් සම අවස්ථාව

July 13, 2026   12:26 pm

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ඔටිසම් (Autism) සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත දරුවන්ට සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමගම එක්ව ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව සමාජයෙන් වෙන්කොට වෙන වෙනම ඉගැන්වීමේ පැරණි ක්‍රමය අත්හැරීමට රජය තීරණය කර ඇති බවය. 

මේ වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා එක්ව නව ඒකාබද්ධ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර තිබේ.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෛද්‍ය උපදෙස් සහිතව ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමයක් වගේම චර්යාත්මක හැඩගැසීම් ද අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරිය, එම දරුවන් වෙන් නොකර සාමාන්‍ය දරුවන් අතරේම හැදී වැඩීමට අවස්ථාව දීම ඉතාමත් වැදගත් බව පෙන්වා දුන්නාය.

මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා මූලික පියවරක් ලෙස, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. 

ලංකාවේ පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ විශේෂිත ආයතන කිහිපයක් ද මේ සඳහා ඉතා ඉහළ සහයෝගයක් ලබා දෙන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ මුල් ළමාවිය අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවතින අවස්ථා මේ වන විට සීමිත මට්ටමක පවතින බවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

ඒ අනුව ඉදිරියේදී එම දරුවන්ගේ අවශ්‍යතා මනාව සපුරාලිය හැකි පෙර පාසල් පද්ධතියක් රට තුළ පුළුල් කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කළාය.