දිට්වා නිසා තවමත් හිසට සෙවණක් නැති උල්පතගම වැසියන්
July 12, 2026 08:27 pm
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය නිවාස විනාශවී මාස 7ක් ඉක්මගොස් තිබුණද තවමත් හිසට වහලක් නොමැතිව පීඩාවිඳින පිරිසක් පිළිබඳ කන්දකැටිය උල්පතගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
පසුගිය වසරේ නොවැම්බර් මස අවසාන දින කිහිපයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුව මෙරට ජනතාව රටක් ලෙස මුහුණදුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස ඉතිහාසයට එක්වේ.
ඒ ජීවිත ගණනක් බිලිගනිමින් සහ යළි ගොඩනැගිය නොහැකි අයුරින් පෞද්ගලික මෙන්ම මහජන දේපොළ විනාශ කරමිනි.
ව්‍යවසනය සිදුවී මේ වනවිට මාස 7කට අධික කාලයක් ඉක්මගොස් ඇතත් ඇතැම් ජීවිත තවමත් පවතින්නේ ගොඩනගාගැනීමේ සේයාවක් හෝ නොපෙනෙන මානයකය.
කන්දකැටිය උල්පතගම ගම්මානයේ පවුල් 27කට උන් හිටිතැන් පවා අහිමි කල දිට්වා සුළි කුණාටුව තවත් නිවාස විශාල සංඛ්‍යාවකට අර්ධ හානි සිදුකළාය.
දිට්වා පහව ගොස් මාස අටක් ගතව තිබුණද ඔවුන්ට මේවනතෙක් කිසිඳු සහනයක් ලැබී නොමැති බව ඔවුන් පවසයි.
පූර්ණ නිවාස හානිවූ පවුල් 27 කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා කුසපත් ඇදීමේ ක්‍රමයකට අනුව ඉඩම් ලබාදීමේ ක්‍රමවේදයක් දියත්කර ඇති බවද ජනතාව පවසයි.
