අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

July 4, 2026   09:24 pm

අකුරේගොඩ සුපිරි වෙළද සැළක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබේ.

පසුගිය පෙබරවාරි මස 13 වනදා මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අකුරේගොඩ සුපිරි වෙළද සැළක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළහ.

මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාළදිවයිනේදී අත් අඩංගුවට ගත් සැකකාර රියදුරු ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබු බවයි අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිහින දිල්සර නැමැති ගාල්ල, ඇත්කදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු බව සදහන්ය.

සැකකරු බහරේන් සිට මාලදිවයින වෙත පැමිණ සිටියදී  ඔහුට එරෙහිව ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබූ රතු නිවේදනය මත එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙරටට ඒ පිළිබද දැනුවත් කිරීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් මාළදිවයින වෙත ගොස් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එරට සිට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සැකකරු කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගිය බවයි අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසීය.