චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරය අද
July 1, 2026 09:56 am
වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව චීන ජනපති ෂී ජින් පිං මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ, අද (01) බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය අමතමිනි.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ, වසර 105ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවරදි මාවත ද විවර කර ඇති බවය.
මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කර ඇති වසර 105ක මෙම ගමන්මඟ, ලෝක ඉතිහාසයේ ගමන් මඟට ද ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත්ව ගොඩනැගීමට චීන කොමියුනිස්ට් පක්ෂය දායක වී ඇති බවත් ඔහු පැවසීය.
පක්ෂයේ මූලික න්‍යායයන්ට සහ මූලික ප්‍රතිපත්තියට අනුගතව ඓතිහාසික ජයග්‍රහණ වෙනුවෙන් සමස්ත පක්ෂයම සෑමවිටම ජනතාව මත විශ්වාසය තැබිය යුතු බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ඉදිරි ගමන් මඟ තුළ මතුවිය හැකි අවදානම් සහ අභියෝගයන්ට සමස්ත පක්ෂයම සක්‍රීයව ප්‍රතිචාර දැක්විය යුතු බව ද චීන ජනපති මහතා පැවසීය.
තවද, සමස්ත පක්ෂය තුළම පූර්ණ සහ දැඩි ස්වයං පාලනයක් ඉදිරියට ගෙන යා යුතු බව ද චීන ජනපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
මේ අතර, පක්ෂය හා ජනතාව වෙනුවෙන් ඉහළ කැපවීමෙන් සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටින පක්ෂ සාමාජිකයන් 08 දෙනෙකු වෙත චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම ගෞරවයට හිමිකම් කියනු ලබන ‘ජූලි 1 පදක්කම’ පිරිනැමීම ද මෙම සැමරුම් උත්සවයේදී සිදුකෙරුණි.
පක්ෂය වෙනුවෙන් විශාල දායකත්වයන් ලබා දුන් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් මෙන්ම කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන ද මෙහිදී ඇගයීමට ලක්විය.
