දකුණු පළාතේ ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමක
June 28, 2026 04:03 pm
දකුණු පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමකට ළඟා වෙමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්.ජී.එස්. පණ්ඩිතරත්න මහතා පවසයි.
ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස 06 තුළ පමණක් දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 7,969 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෞඛ්‍ය අංශ විසින් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දකුණු පළාතේ නිවාස 100ක් පරීක්ෂා කළහොත් ඉන් නිවාස 20කම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවය.
මෙම තත්ත්වය හමුවේ දකුණු පළාතේ ග්‍රාම නිලධාරි වසම් 50කට වැඩි සංඛ්‍යාවක් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම වෙරළ කලාපයේ සිට කිලෝමීටර් 10ක පමණ සීමාව තුළ රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙන්නේ ජන ඝනත්වය අධික වීම සහ ජනතාව විසින් අක්‍රමවත් අයුරින් කසළ බැහැර කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බවය.
දකුණු පළාතේ දිස්ත්‍රික්ක අතුරින් ඩෙංගු රෝගයේ වැඩිම වර්ධනයක් සහ වැඩිම බලපෑමක් පෙන්නුම් කරන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි.
ඒ අනුව සමස්ත රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් රෝගීන් 3,573 දෙනෙකුම වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වේ.
මෙයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ මාතර නාගරික බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 909කි.
මීට අමතරව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 430 දෙනෙකු සහ දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 410 දෙනෙකු වාර්තා වී ඇත.
මාතරට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 2,925 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 373දෙනෙකු ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙන් ද, තවත් රෝගීන් 314 දෙනෙකු බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ද වාර්තා වී තිබේ.
මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,471ක් වන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට වේ.
ඒ අනුව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 334ක් සහ කටුවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 206ක් වාර්තා වී ඇත.
මෙම උවදුරෙන් දකුණු පළාතේ ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ඩෙංගු මර්ධන වැඩසටහන් ගණනාවක් මේ වන විටත් දියත් කර තිබේ.
කෙසේවෙතත් පවතින අනතුරුදායක තත්ත්වය පාලනය කිරීමට නම් දැනට සියයට 20ක්ව පවතින මදුරු කීටයන් සහිත නිවාස ප්‍රතිශතය, සියයට 05ක් දක්වා අඩු කරගත යුතු බව වෛද්‍ය පණ්ඩිතරත්න මහතා අවධාරණය කළේය.
