ශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින් 

ශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින් 

June 28, 2026   07:27 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දින තරගය අද (28) ආරම්භවීමට නියමිතව තිබේ. 

තෙවන දිනය සඳහා තරගය නතර කරන සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක්කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15කි. 

ඒ අනුව ඔවුන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටියි. 

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙන දැවී ලකුණු 308ක් රැස්කරගත්තහ. 

එහිදී ධනංජය ද සිල්වා ලකුණු 120ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබාගත්හ. 

පන්දුයැවීමේදී ජස්ටින් ග්‍රෙවස් කඩුලු තුනක් බිඳහෙළීය. 

අනතුරුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. 

එහිදී ඇමීර් ජැන්ගු ලකුණු 233ක් සහ නායක රොස්ටන් චේස් ලකුනු 194ක් රැස්කරගත්තහ. 

ඔවුන් දෙපළ අතර හය වන කඩුල්ල සඳහා ලකුණු 401ක් රැස්කළ අතර එහි ටෙස්ට් තරගයක එම කඩුල්ල සඳහා ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. 

මීට පෙර එංගලන්ත පිතිකරුවන් යුගලය වන බෙන් ස්ටෝක් සහ ජොනි බෙයාර්ස්ටෝව් දකුණු අප්‍රිකාවට එරෙහිව රැස්කළ ලකුණු 399ක් එම කඩුල්ල සඳහා ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. 

මේ අතර රොස්ටන් චේස් සහ ඇමීර් ජැන්ගු විසින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් හය වන කඩුල්ල සඳහා බ්‍රයන් ලාරා සහ රිඩ්ල් ජෙකෝබ්ස් විසින් රැස්කළ ලකුණු 282ක වාර්තාව ද මෙම තරගයේදී බිඳදැමීමට සමත්විය. 

බටහිර ඉන්දිය කොදෙව් ඉනිමේ කඩුලු පහක් දවාගැනීමට මිලාන් රත්නායක සමත් වූවේය.