අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
June 22, 2026 01:33 pm
අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු පළමු වටයේ සාම සාකච්ඡා සාධනීය ලෙස සාර්ථක බවත්, එහිදි දින 60ක් තුළ අවසන් එකඟතාවකට පැමිණීමට අදාළ කාලරාමුවක් සඳහා එකඟවූ බවත් මැදිහත්කාරි රටවල් නිවේදනය කර ඇත.
කෙසේ නමුත් දැඩි ප්‍රතිපත්තියක පසුවන ඊශ්‍රායලය අවධාරණය කරන්නේ ලෙබනනයේ අත්පත් කරගත් කලාප අත් නොහරින බවය.
අමෙරිකාව සහ ඉරාන අතර ස්ථිරසාර සාමයක් ඇතිකරගැනීමේ අරමුණින් යුතුව දෙපාර්ශ්වය පසුගිය සතියේදී සාම අවබෝධතා ගිවිසුමකට එකඟ විය.
දෙපාර්ශ්වයේ නියෝජිතයින් ස්විට්සර්ලන්තයේ බෘගන්ස්ටක් හි පිහිටි කටාර් රාජ්‍යයට අයත් නිවාඩු නිකේතනයකට රැස්වුණේ කරුණු 14කින් යුතු එම යෝජනාවලියට අදාළ ඉදිරි කරුණු සාකච්ඡා කිරීම සඳහාය.
මැදහත්කාර රටවල් වන පාකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ්, හමුදාපති අසීම් මුනීර් මෙන්ම කටාර් හි අගමැති ෂෙයික් මොහොමඩ් බින් අල් තානි ද එම විශේෂ අවස්ථාවට සහභාගි වී සිටියහ.
මුහුණට මුහුණලා පැවති අමෙරිකා - ඉරාන නියෝජිත සාකච්ඡාවලදී ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවත්වා ගැනීම මෙන්ම ලෙබනනයේ සටන් නැවැත්වීම යන කරුණු සඳහාය.
කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා පළකළ තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් සාම සාකච්ඡා කඩාකප්පල්වීමේ අවදානමක් ද මතුවූ බව වාර්තා වේ.
ඉරානය වහාම ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර නැවැත්වීමට කටයුතු කළ නොකළහොත් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ට්‍රම්ප්ගේ ටෘෘත් සටහනක් තබමින් පැවසීය.
එමෙන්ම ඔහු පසුව පවසා තිබුණේ ඉරානය හෝමුස් වසා දැමුවහොත් අමෙරිකානු හමුදා යොදවා එය මුළුමනින්ම අල්ලාගන්නා බවය.
මෙම ප්‍රකාශ හෙලා දකිමින් ඉරාන නියෝජිත කණ්ඩායම සාකච්ඡා මේසය මඟහැරීමට තීරණය කළ බව වාර්තා විය.
එම අසීරු අවස්ථාවේදී උප ජනාධිපති වෑන්ස් රැස්ව සිටි පිරිස ඇමතුවේය.
''මෙය ඓතිහාසික හමුවක්. අන් කිසිදාක ඉරාන සහ අමෙරිකානු ඉහළ නායකත්වය මෙතරම් සමීප සාකච්ඡාවකට එක්වී නැහැ. ජනාධිපතිවරයා අපෙන් ඉල්ලන්නේ පැවති තත්ත්වය වෙනස් කර නැවුම් ආරම්භයක් ලබාගන්නා ලෙසයි. ඉරාන ජනතාව සමඟ සබඳතාව වෙනස් කරන්න කියලා. සාමය අත්පත් කරගැනීම කිසිවිටෙක පහසු නැහැ. සාමය වෙනුවෙන් බොහෝ දේ කළ යුතුයි. දෙයක් ලබාගන්න දෙයක් කැප කරන්න වෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා අමෙරිකාව සහ ඉරානය අතර සාමය වෙනුවනේ විතරක් නෙමෙයි කලාපයේ සාමය වෙනුවෙනුත් කැප වෙලා ඉන්නවා. ඒකයි අපි අතර පවතින ගැටලු විසඳාගන්න මහන්සි වෙන්නේ''
කෙසේ නමුත් පාකිස්තානයේ සහ කටාර් රාජ්‍යයේ දැඩි ප්‍රයත්නය හමුවේ ඉරාන සහ අමෙරිකාව අතර සාකච්ඡා නැවත ආරම්භ වී ඇති නමුත් ඒවා මැදහත්කාරී පාර්ශ්ව ඔස්සේ සිදුවූ බව සඳහන්.
ඒ අනුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ පාකිස්තානය සහ කටාර් රාජ්‍ය නිවේදනය කළේ, දින 60ක් තුළ අවසන් එකඟතාවකට පැමිණීමට අදාළ කාලරාමුවකට (ROAD MAP) අමෙරිකාව සහ ඉරානය එකඟවූ බවය.
