සුගීෂ්වර ලබන පළමුවෙනිදා දක්වා රිමාන්ඩ්
June 18, 2026 06:19 pm
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජුලි මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අද දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණි.
ඒ ඔහු අද පෙරවරුවේ IMF නිලධාරීන් හා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් අතර පැවති හමුවෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදිය.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක් අනුව මොහුව මෙලෙස අත්අඩංගුවට ගැනුණි.
2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාවයි.
සුගීෂ්වර බණ්ඩාර මහතා ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වන බව පොලීසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සුගීෂ්වර බණ්ඩාර මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියා සිටියේ මොහු විශ්‍රාමික ජනාධිපතිවරයාගේ ලේකම්වරයා වශයෙන් රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක මුදලකුත් ව්‍යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහය දහස් දටසීය අසූ හතරයි සත පනස් නවයක් අවභාවිත කර ඇති බවය.
ඒ අනුව පොදු දේපළ පනතේ 5 (1) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි සිදු කර ඇතැයි විමර්ශකයින් අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඉන් අනතුරුව සුගිෂ්වර බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනි සිටි නිතීඥ මඩුල්ල අධිකරණය හමුවේ කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම සාක්ෂි කිසිවක් නොමැතිව ද්වේශසහගතව සිදු කළ නීතිවිරෝධි අත්අඩංගුවට ගැනීමක් බවය.
විශ්‍රාමික ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ඔහුගේ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයට යවා තිබුණත් ඔහු එවැනි දීමනාවක් ලබාගෙන නොමැති බවත් අදාළ මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ගිණුමකට බැරව ඇති බවත් නීතිඥයින් අධිකරණය හමුවේ පවසා සිටියේය.
එවැනි දීමනාවක් තමන්ට අවශ්‍ය නොවන බවට සුගිෂ්වර බණ්ඩාර මහතා ලිඛිතව හිටපු ජනපතිට දැනුම් දී ඇති බව ද තීතිඥයින් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ සැකකරු ජුලි 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර කරන ලෙසයි.
එමෙන්ම විමර්ශන කඩිනම් කර සැකකරුව අදාළ තනතුරු සඳහා පත් කළ පාර්ශ්වයන්ගෙන් හා අදාළ මුදල් බැරවු ගිණුම් හිමිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විමර්ශකයින්ට නියෝග කළේය.
