A 9 මාර්ගයේ මාරක අනතුරක් - දෙදෙනකුට දිවි අහිමි වෙයි

A 9 මාර්ගයේ මාරක අනතුරක් - දෙදෙනකුට දිවි අහිමි වෙයි

June 17, 2026   10:17 am

යාපනය, නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව,ගල්කන්දේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයෙකු බරපතළ  තුවාල ලබා ඇති බව පූනෑව පොලීසිය පවසයි.

නොරච්චෝලෙයි ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ධීවරයින් පිරිසක් ගමන්ගත් ලොරි රථයක් මාර්ගයේ නවතා තිබියදී පසුපසින් පැමිණි පොහොර පැටවු ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයේ ගැටී ධීවරයින් සිටි ලොරි රථය මතට පෙරළී අනතුර සිදුව තිබුණි.

අනතුරින් ධීවරයින් ලෙස කටයුතු කළ නොරොච්චෝලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් හා 43ක් වන පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය. 

අනතුරින් තවත් ධීවරයෙකු බරපතළ තුවාල ලබා තිබේ. 

ජීවිතක්ෂයට පත්වූවන් වව්නියාව මහ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුද වව්නියාව රෝහල වෙත ඇතුළත් කළ බව පොලීසිය පැවසීය. 

තුවාලකරුගේ තත්වයද බරපතළ වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.