තරුණයින් දෙදෙනෙකු මිහිදන් කළ වළ හාරා තොවිලයක් නැටූ පිරිස සොයා විමර්ශන
June 17, 2026 10:07 am
කොස්ගම පරණගම සුසාන භූමියේ එකම ස්ථානයක භූමදානය කෙරුණු තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු තිබූ වළ හාරා තොවිලයක් නැටූ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළ බව කොස්ගම පොලිසිය පවසයි.
ඉකුත් මැයි 16 වනදා කොස්ගම - තාවල්ගොඩ ඇලේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ අතර පසුව ඔවුන්ගේ දේහයන් කොස්ගම - පරණගම පොදු සුසාන භූමියේ මෙලෙස මිහිදන් කර තිබුණි.
එලෙස මිහිදන් කර තිබූ දේහයන් ඉකුත් 14 වනදා අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් හාරා තොවිල් කටයුත්තක නිරතවී තිබේ.
ඒ අනුව සුසාන භූමිය අසල නිවසක සවිකර තිබූ CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සුසාන භූමිය අසලින් සැකකටයුතු කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් ධාවනය කරන අයුරුද නිරීක්ෂණය වී ඇත.
අදාළ ලොරි රථය කොස්ගම විද්‍යාල මාවතේ නිවසක් වෙත ධාවනය කර ඇති අතර එම නිවසේ නිවැසියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එක් පුද්ගලයෙකු පවසා ඇත්තේ තම බිරිඳගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහියංගණය ප්‍රදේශයෙන් යකදුරන් පිරිසක් පැමිණ අදාළ ස්ථානයේ තොවිලයක් නැටූ බවය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර නිවැසියා ඊයේ (16) දිනයේදී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
පසුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අදාළ ස්ථානයේ හාරා තිබූ වළ වසා දැමීමට කටයුතු කරන ලෙස පොලිසිය මගින් පවසා තිබුණි.
නමුත් එම ස්ථානයේ මිනී පෙට්ටි නොමැති බවට ඥාතීන්ට ඇතිවූ සැකයක් මත ඊයේ සවස යළිත් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
පසුව ගම්වාසීන් ඉදිරියේ වළ තවදුරටත් කැණීම් කර ඒ තුළ මිනී පෙට්ටිය ඇති බවට තහවුරු කරගැනීමෙන් පසු පෙර තිබූ පරිදි භූමදානය කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර තොවිලය නැටූ බව කියන යකදුරා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව කොස්ගම පොලිසිය පැවසීය.
