දකුණු ආසියානු සංස්කෘතිය විදහා දැක්වූ චීනයේ දැවැන්ත ප්‍රදර්ශනය

දකුණු ආසියානු සංස්කෘතිය විදහා දැක්වූ චීනයේ දැවැන්ත ප්‍රදර්ශනය

June 17, 2026   09:21 am

චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය පසුගියදා නිරිතදිග චීනයේ යුන්නාන් පළාතේ අගනුවර වන කුන්මිං (Kunming) නගරයේදී 10 වන වරටත් ආරම්භ විය.

දින හයක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමා රට ලෙස ක්‍රියා කරනුයේ බංග්ලාදේශය වන අතර, ලොව රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 68 ක නියෝජිතයින් ද මේ අවස්ථාවට එක්ව සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් ද සමාගම් 560 කට වැඩි සංඛ්‍යාවක්  මේ සඳහා සහභාගි වන අතර, ජර්මනිය, බ්‍රසීලය සහ ඊජිප්තුව වැනි රටවල් 45 ක ගැනුම්කරුවන් ද ඇතුළුව, 60% ඉක්ම වූ විදේශීය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයක් මෙවර වාර්තා වී තිබේ.

මෙම ප්‍රදර්ශනයට තබා ඇති විචිත්‍රවත් හස්ත කර්මාන්ත ශිල්පීය නිර්මාණ සහ රසවත් කෙටි කෑම වර්ගවල සිට ගෘහ අලංකරණ දක්වා වූ විස්මිත භාණ්ඩ රැසක් සමඟින්, කලාපයේ පොහොසත් සංස්කෘතික හා වාණිජ විවිධත්වය ඉස්මතු කිරීම ද මෙහි විශේෂත්වයෙකි.

"පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය" යන තේමාව යටතේ කලාපීය වෙළඳ සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි මෙවර ප්‍රදර්ශනයේ දී විශේෂ අවධානයක් යොමු කර තිබේ.

අනාගත ව්‍යාප්තිය සඳහා විවෘත වන චීන වෙළඳපොළ වෙත තම භාණ්ඩ හඳුන්වා දීමට මෙම ප්‍රදර්ශනය හරහා හැකියාව ලැබෙන අතර, මෙහි ප්‍රදර්ශන කුටි හරහා විවිධ ජාතීන්ට අයත් අද්විතීය සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ ජීවන රටාවන් පිළිබඳ තොරතුරු සැපයෙන විවිධ නිෂ්පාදන රැසක් ගවේෂණය කිරීමට ද නරඹන්නන්ට හැකියාව ලැබී තිබේ.

මීට පෙර ද ඉතා සාර්ථකව නව වතාවක් පවත්වා ඇති චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය හරහා ව්‍යාපෘති 3,000 කට අධික සංඛ්‍යාවක් සමඟ ගිවිසුම්ගත වීමටත්, ඇමරිකානු ඩොලර් බිලියන 100 කට අධික විදේශ වෙළඳාමක් සඳහා පහසුකම් සැපයීමටත් සමත්ව ඇති බව වාර්තා වන්නේ.

මේ වන විටත් පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල විශාලතම වෙළඳ හවුල්කරුවා බවට චීනය පත්ව ඇති අතර, 2025 වසරේදී චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර වෙළඳ පරිමාව ඩොලර් බිලියන 200 ද ඉක්මවා ඇත්තේ, වාර්ෂිකව එහි 10.7% ක වර්ධනයක් ද පෙන්නුම් කරමින්. 

වර්ධනය වන ආර්ථික සබඳතා කලාපය පුරා නව අවස්ථා නිර්මාණය කරන බැවින් එම ශක්තිමත් ගම්‍යතාවය මේ වසරේදීත් අඛණ්ඩව පවතින බවයි චීනය පවසන්නේ. එබැවින් චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර ආර්ථික හා වෙළඳ හුවමාරු සඳහා වන ප්‍රධාන වේදිකාවක් ලෙසත් මෙම ප්‍රදර්ශනය සැලකිය හැකි වෙයි.

අදාළ රටවල ප්‍රදර්ශන කුටිවලට අමතරව, උසස් නිෂ්පාදන, හරිත සංවර්ධනය, නවීන කෘෂිකර්මාන්තය සහ කලාපීය සහයෝගීතාව වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ප්‍රදර්ශන ශාලා 10 කට වඩා වැඩි සංඛ්‍යාවක් ද මෙම ප්‍රදර්ශනයට එක් කර කිබේ.

මෙලෙස කලාපීය හවුල්කරුවන් සමඟ සහයෝගීතාවය ගැඹුරු කිරීමට සහ උසස් තත්ත්වයේ විවෘතභාවය පුළුල් කිරීමට චීනය දරන උත්සාහයන් පිළිබිඹු කරමින්, නව ව්‍යාපාරික ආකෘතීන්, නැගී එන තාක්ෂණයන් සහ සේවා වෙළඳාමේ නවතම ජයග්‍රහණ මෙමඟින් ප්‍රදර්ශනය කිරීම ද විශේෂත්වයකි.