"සේවයේ නියුතු පිරිසෙන් සියයට 22.8ක් කෘතිම බුද්ධියට නිරාවරණය වෙලා.." - අනිල් ජයන්ත

June 11, 2026   01:28 pm

මෙරට තුළ සේවයේ නියුතු ජනගහනයෙන් 22.8%ක් පමණ මේ වනවිටත් Generative AI නොහොත් උත්පාදක කෘතිම බුද්ධියට නිරාවරණයවී ඇති බව  කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය  අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වන සැසිවාරයේ මහා මණ්ඩලය හමුවේදීය. 

කෙසේවෙතත් කෘෂිකර්මාන්තය, අත්කම් නිර්මාණ වැනි අවිධිමත් අංශවලට මෙහි ඇති බලපෑම අවම බව අනිල් ජයන්ත මහතා කියාසිටියේය.

"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මේ 114 වන සැසිවාරය අමතන්න ලැබීම මම විශාල ගෞරවයක් විදිහට සලකනවා. 

ගරුත්වයක් සහිත රැකියාවක් සඳහා කෘතිම බුද්ධිය උපයෝගී කර ගැනීම: තෝරාගැනීමේ මොහොතක්" කියන මාතෘකාව යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කරපු ඒ ඉතාමත් වැදගත් වාර්තාව ගැන මගේ හෘදයාංගම ස්තූතිය මම මුලින්ම පුද කර සිටිනවා.

අපි අද මෙතනට එකතු වෙලා ඉන්නේ මානව ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයකයි. කෘතිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය ගැන ලෝකය පුරාම අද වෙනකොට කතා කරන්නේ යන්ත්‍රවල මැදිහත් වීමයි, මිනිස් ශ්‍රමයයි අතරේ "සමතුලිතතාවයක්" හදාගන්න කරන ලොකු අරගලයක් විදිහටයි. එහෙම නැත්නම් තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ රැකියා අහිමි වෙයි කියන බයට, සේවකයන්ව ආරක්ෂා කරගන්න කරන සටනක් විදිහට විතරයි මේ ගැන ගොඩක් අය බලන්නේ.

හැබැයි, ශ්‍රී ලංකාව විදිහට අපි යෝජනා කරන්නේ මේ සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණය වෙනස් කරන්න ඕනේ කියලයි. ඒ වෙනුවට, හැමෝටම පොදුවේ මෙයින් වාසි ලැබෙන විදිහට, ඵලදායිතාවය සහ වටිනාකම් වැඩි කරන්නත්, අපේ නිෂ්පාදන ක්‍රියාවලීන් අලුත් විදිහකට සකස් කරන්නත් මේ AI තාක්ෂණය කියන්නේ කදිම උත්ප්‍රේරකයක්, ඒ කියන්නේ ලොකු ශක්තියක් කියලා අපි දකින්න ඕනේ. අපේ කම්කරු ප්‍රතිපත්තිවල ප්‍රධානම අරමුණ වෙන්න ඕනේ ගුණාත්මක රැකියා අවස්ථා බිහිකිරීම, සාධාරණ විදිහට ප්‍රතිලාභ බෙදීයාම සහ සැමට වඩා හොඳ ජීවිතයක් සහතික කිරීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS), ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ක්‍රමවේදයන් භාවිත කරලා මෑතකදී කරපු පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා, අපේ රටේ සේවයේ නියුතු ජනගහනයෙන් 22.8% ක් විතර මේ වෙනකොටත් Generative AI නැත්නම් උත්පාදක කෘතිම බුද්ධියට නිරාවරණය වෙලා තියෙනවා කියලා. මෙතනදී වඩාත්ම වැදගත් දේ තමයි, මේ තත්ත්වය වැඩිපුරම බලපාලා තියෙන්නේ සාම්ප්‍රදායිකව අපි සමාජයේ ඉදිරියට යන්න සුදුසුයි කියලා හිතපු, ආරක්ෂිතයි කියලා හිතපු "කාර්යාලීය රැකියාවලටයි" (Office Jobs). හැබැයි කෘෂිකර්මාන්තය, අත්කම් නිර්මාණ වගේම අවිධිමත් අංශවල තියෙන, සාමාන්‍යයෙන් තාරුණ්‍යයේ ආකර්ෂණය අඩු රැකියාවලට මේකෙන් තියෙන බලපෑම සෑහෙන්න අඩුයි.

අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළට AI තාක්ෂණය නිවැරදිව සම්බන්ධ කරගත්තොත්, මේක අවස්ථාවක් කරගෙන මුළු ශ්‍රම වෙළෙඳපොළම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න අපිට පුළුවන්. ඒ නිසා තමයි අපි වෘත්තීය මට්ටමේ ව්‍යාපාර තවත් ඵලදායී කරන්න AI "ගුණකයක්" (Multiplier) විදිහටත්, අපේ සේවකයන්ව ඉහළ වටිනාකමක් තියෙන වෘත්තීන් කරා යොමු කරන්න "උත්ප්‍රේරකයක්" (Catalyst) විදිහටත්, ඒ වගේම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සහ අවිධිමත් අංශය ඉහළ ඵලදායීතාවයක් තියෙන, හැමෝම කැමති ආකර්ෂණීය ක්ෂේත්‍ර බවට පත් කරන්න "පරිවර්තනීය" බලවේගයක් විදිහටත් මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ. කෙටියෙන්ම කිව්වොත්, මිනිස්සුන්ගේ සැඟවුණු හැකියාවන් උපරිමයෙන් එළියට ගන්නයි අපි AI උපයෝගී කරගන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මේ උපායමාර්ගය ප්‍රධාන වශයෙන්ම වැළඳ ගැනීම (Adoption), අනුකූල වීම (Adaptation), සහ වේගවත් කිරීම (Acceleration) කියන කරුණු තුන මත තමයි ගොඩනැගෙන්නේ. නැගී එන ආර්ථිකයක් විදිහට, ශ්‍රී ලංකාව ආරම්භයේ ඉඳලම අපේ ආයතන ඇතුළේ "පළමුව AI" (AI-first) කියන මානසිකත්වය ඇති කරමින් ඉන්නවා. අපේ ගරු ජනාධිපති අනුර දිසානායක මහතාගේ නායකත්වය යටතේ මේ ඩිජිටල් පරිවර්තනය ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කරලා තියෙනවා. වැඩි අපනයන ආදායමක් වගේම, ඒකට දායක වෙන්න පුළුවන් ශක්තිමත් ඩිජිටල් ශ්‍රම බලකායක් එක්ක අපේ ඩිජිටල් ආර්ථිකය පුළුල් කරන්න ඉතාමත් පැහැදිලි මාර්ග සිතියමක් අපි මේ වෙනකොටත් ක්‍රියාත්මක කරමිනුයි ඉන්නේ.

අපි තාක්ෂණය සහ AI මඟින් මෙහෙයවන අනාගතයකට වේගයෙන් ගමන් කරද්දී, ශ්‍රී ලංකාව සමාජ සාධාරණත්වය, කම්කරු අයිතිවාසිකම් සහ රැකියාවේ ගෞරවය වෙනුවෙන් හැමදාමත් කැපවෙලා ඉන්නවා. රැකියා ස්ථානවල සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම්වලට එරෙහි ILO සම්මුතිය (C190) 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරපු බවත්, ඒකට අදාළ නීතිමය රාමුව මේ දවස්වල අවසන් කරමින් පවතින බවත් මම ඉතාමත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ධීවර ක්ෂේත්‍රය වෙනුවෙන් තියෙන අංක 188 සම්මුතිය අපරානුමත කරන්නත් අපි ඉහළ මට්ටමේ සාකච්ඡා කරමින් ඉන්නවා. මීට අමතරව, අපේ සේවකයන් ආරක්ෂා කරන ගමන්ම, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කරන්න පුළුවන් විස්තීර්ණ කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න විශේෂඥ කමිටුවක උපදෙස් අපි ලබාගනිමින් ඉන්නවා.

අභියෝග හමුවේ නොසැලී ඉන්න අපිට තියෙන හැකියාව අපි ලෝකයටම ඔප්පු කරලා තියෙනවා. මෑතකදී අපිට මුහුණ දෙන්න වුණු "දිට්වා" (Ditwa) සුළි කුණාටුවේ විනාශකාරී ආර්ථික බලපෑම්වලින් වගේම දරුණු බලශක්ති අර්බුදයෙන් මිදිලා, ශ්‍රී ලංකාව අද වෙනකොට තමන්ගේ ආර්ථිකය ඉතාමත් විනිවිදභාවයකින් යුතුව, ජනතාවගේ උපරිම යහපත වෙනුවෙන් කළමනාකරණය කරමින් ඉදිරියටම යනවා.

ඒ නිසා, රටවල් ඇතුළේ වගේම රටවල් අතරත් තියෙන මේ ඩිජිටල් සහ AI පරතරය නැති කරන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු කියලා මම ඉල්ලා සිටිනවා. AI තාක්ෂණය එක්ක බැඳුණු නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා හැමෝටම සාධාරණ වටිනාකමකුත්, ජීවත් වෙන්න සරිලන වැටුපකුත් ලැබෙනවා කියන එක සහතික කරන ඕනෙම ගෝලීය සහයෝගීතාවයක් සහ හවුල්කාරිත්වයක් ශ්‍රී ලංකාව ඉතාමත් සතුටින් පිළිගන්නවා.

අවසාන වශයෙන් මම කියන්න කැමතියි, මිනිස් ශ්‍රමය අයින් කරන්න නෙමෙයි, මිනිස් වර්ගයා තවත් ඉහළට ඔසවා තබන්න AI තාක්ෂණය යොදාගන්න අපි හැමෝම අධිෂ්ඨාන කරගනිමු."