මෝදි ඉතිහාසගත වෙයි - ජනපති අනුරගෙන් සුබ පැතුම්
June 10, 2026 09:56 am
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අඛණ්ඩව එම ධුරය වැඩිම කලක් හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස ගතවී තිබේ.
අද (10) වන විට ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දින 4,399ක් සම්පූර්ණ කිරීමත් සමඟ වාර්තා අතරට එක්ව ඇත.
මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද සුබ පැතුම් එක්කර තිබේ.
අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමුකරමින් මෙලෙස සුබපැතුම් එක්කර ඇත.
එම ලිපියේ සඳහන් කර ඇත්තේ, මෙම සන්ධිස්ථානය මෝදිගේ දීර්ඝ සේවා කාලය පමණක් නොව ලොව විශාලතම ප්රජාතන්ත්රවාදයේ, ජනතාව ඔහුගේ නායකත්වය කෙරෙහි තැබූ විශ්වාසයද පිළිබිඹු කරන බවය.
මීට අමතරව ලොව පුරා නායකයින් ද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කර ඇති අතර ඔහුගේ දැක්ම අගය කර තිබේ.
ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු 1947 සිට 1964 දක්වා ධුරයේ කටයුතු කළ අතර, ඉන්දිරා ගාන්ධි වසර 16කට ආසන්න කාලයක් වාර දෙකකදී අග්‍රාමාත්‍ය ධුරය දැරීය.
2014 මැයි 26 දින ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මෝදි මහතා 2019 දී වැඩි ජනවරමක් සමඟ නැවත තේරී පත් වූ අතර, 2024දී තෙවැනි වරටත් එම ධුරයට පත්විය.
පසුගිය වසර 12 තුළ දුප්පත්කම අවම කිරීම, සුබසාධන වැඩසටහන් පුළුල් කිරීම, ඩිජිටල් ගෙවීම් පද්ධති සංවර්ධනය, මාර්ග, දුම්රිය සහ ගුවන් තොටුපොළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව භාරතීය ජනතා පක්ෂය පෙන්වා දෙයි.
මෝදි මහතා සඳහන් කර ඇත්තේ තම 12 වසරක ගමන ජනතා විශ්වාසය, සංවර්ධනය සහ මහජන සුබ සාධනය වෙනුවෙන් කැප වූ ගමනක් බවයි.
තරුණයන්, කාන්තාවන් සහ ගොවි ජනතාව සවිබල ගැන්වීම සඳහා සිය උපරිම උත්සාහය යෙදවූ බවද ඔහු අවධාරණය කර තිබේ.
