යුනෙස්කෝව ඇමතූ බාලවයස්කාර ශ්‍රී ලාංකිකයා

යුනෙස්කෝව ඇමතූ බාලවයස්කාර ශ්‍රී ලාංකිකයා

June 4, 2026   04:11 pm

ශ්‍රී ලාංකික සම්භවයක් 16 හැවිරිදි සිසුවෙකු වන කෙලන් සූරියසේන, එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) 2026 තරුණ සංසදයට සහභාගී වී අදහස් දැක්වීම සඳහා විශේෂ ආරාධනයක් ලබාගෙන තිබේ.

කෙලන් සූරියසේන එක්සත් ජනපදයේ ඩන්බාර් උසස් පාසලේ අධ්‍යාපනය ලබයි.

කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ හිටපු සිසුවෙකු වන කෙලන්, ECOSOC සභාපති ලෝක් බහදූර් තාපා මහතාගේ ආරාධනයෙන් මෙම ජාත්‍යන්තර සංසදයට එක්ව තිබුණි.

මෙම අවස්ථාව තුළ ඔහුට එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය නියෝජිතයන් සහ ලොව පුරා සිටින තරුණ නායකයන් සමඟ සංවාදවලට එක්වීමට අවස්ථාව හිමි විය.

තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන 2030 න් පසු න්‍යාය පත්‍රය (Post-2030 Agenda) ඉදිරියට ගෙන යාම සඳහා ද සිය දායකත්වය ලබා දී ඇත.

කෙලන්ගේ පරිසර සංරක්ෂණ සහ තරුණ බලගැන්වීමේ ගමන ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සහ එය වෙරළබඩ පරිසරයට හා සාගර ජීවීන්ට ඇති කරන බලපෑම් නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

ඒ අනුව ඔහු විසින් ආරම්භ කරන ලද “Pearls Not Plastics” නම් තරුණයන් විසින් මෙහෙයවන වැඩසටහන හරහා පරිසර දැනුවත්භාවය වර්ධනය කිරීම, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සහ ප්‍රජා සහභාගීත්වය දිරිමත් කිරීම සිදු කර ඇත.

පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වූ කෙලන්, ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ලැබූ අත්දැකීම් ඇසුරින් අපද්‍රව්‍ය කළමනාකරණය, දූෂණය සහ පරිසර අසමානතාවයන් ගෝලීය ගැටලු බව හඳුනාගෙන ඒ සඳහා නව්‍ය විසඳුම් සෙවීමට කටයුතු කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය මිතුරන් සමඟ එක්ව “Poliss” නමැති නාගරික තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. හාවඩ් විශ්වවිද්‍යාලයේ Undergraduate Ventures-Tech වැඩසටහන හරහා හඳුනාගත් පිරිසක් සමඟ සම-නිර්මාණය කළ මෙම ව්‍යාපෘතිය මඟින් අපද්‍රව්‍ය එකතු කිරීමේ කටයුතු වඩාත් සංවිධානාත්මක, විනිවිදභාවයෙන් යුතු සහ ප්‍රවේශ විය හැකි ආකාරයකට පවත්වාගෙන යාම අරමුණු කරයි.

කෙලන් පවසන්නේ “Pearls Not Plastics” වැඩසටහන මඟින් පරිසර දැනුවත්භාවය ගොඩනැගීමට කටයුතු කළ අතර, “Poliss” ව්‍යාපෘතිය මඟින් ප්‍රායෝගික විසඳුම් සපයමින් ප්‍රජාවන්, අවිධිමත් අපද්‍රව්‍ය එකතුකරන්නන් සහ නගර පරිසරය සඳහා සෘජු දායකත්වයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජනපදය දක්වාත්, එතැනින් එක්සත් ජාතීන්ගේ වේදිකාව දක්වාත් පැමිණි ඔහුගේ ගමන, තරුණ නායකත්වය, තාක්ෂණය සහ පරිසර සංරක්ෂණය ඔස්සේ වඩාත් සාධාරණ, පිරිසිදු සහ සියලු දෙනාටම ඇතුළත් අනාගතයක් ගොඩනැගීමේ කැපවීම පිළිබිඹු කරන බව විචාරකයෝ පෙන්වා දෙති.