දශකයකට පසු ප්‍රබලම එල්නිනෝ තත්ත්වය 2026 දී ?
June 2, 2026 06:01 pm
ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනාවැකි පළ කර තිබේ.
එල්නිනෝ යනු මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය වරින්වර ඉහළ යාමේ ස්වභාවික සංසිද්ධියක් වන අතර එය සාමාන්‍යයෙන් මාස 9ත් 12ත් අතර කාලයක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කර සිටී.
සාගර ජලය උණුසුම් වීම එල්නිනෝ තත්ත්වයේ වර්ධනයට හේතු වී ඇති බවත් ඒ හේතුවෙන් ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුළ ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා වැඩි උෂ්ණත්වයක් පවතිනු ඇති බවත් ඔවුන් පුරෝකථනය කර තිබේ.
එමෙන්ම මෙම එල්නිනෝ තත්ත්වය නොවැම්බර් මාසය දක්වා පැවතීමට ඉඩ ඇති බවද එම සංවිධානය සඳහන් කර සිටී.
මෙම කාලගුණික තත්ත්වය හරහා ගෝලීය වශයෙන් උණුසුම් උෂ්ණත්වයක් ඇති කරන අතරම දකුණු අමෙරිකාව, එක්සත් ජනපදය සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම ආසියාවටත් වැඩි වර්ෂාපතනයක් ලැබිය බව සඳහන් වේ.
එමෙන්ම, මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාව, මධ්‍යම ඇමරිකාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවලට නියඟයක් ඇති විය හැකි අතර, මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ සුළි කුණාටු නිර්මාණය වීමටද එය හේතුවක් වනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය වැඩිදුරටත් පවසයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව සමක පැසිෆික් කලාපයේ වෙනසක් නිරීක්ෂණය වී ඇති අතර අප්‍රේල් අග සිට මැයි මැද භාගය දක්වා මුහුදු මතුපිට උෂ්ණත්වය වේගයෙන් ඉහළ ගොස් ඇත.
මෙයින් එල්නිනෝ තත්ත්වයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙන්නුම් කරන බවද ඔවුන් සඳහන් කර සිටී.
නිවර්තන පැසිෆික් කලාපය පුරා සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 6කට වඩා වැඩි උෂ්ණත්වයක් සහිත අසාමාන්‍ය ලෙස උණුසුම් සාගර උප-මතුපිට තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති බවත්, එමඟින් මතුපිට උණුසුම් වීමට හේතු වන තාප සංචිතයක් නිර්මාණය වී ඇති බවත් එම ආයතනය ප්‍රකාශ කළේය.
එමෙන්ම දශකයකට පසු ඇති වන ප්‍රබලම එල්නිනෝ තත්ත්වය මෙය වනු ඇති බවට ද පුරෝකථනය කර ඇත.
ඉරාන යුද්ධය හේතුවෙන් පවතින පොහොර හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා දැනටමත් පීඩා විඳින ගොවීන්ට, 2026 වසරේ දෙවන භාගයේදී ආසියාව පුරා ඇති වන උණුසුම් හා වියලි කාලගුණය හේතුවෙන් බෝග සහ ආහාර සැපයුම්වලට දැඩි හානි සිදුවිය හැකි බව ඔවුහු පවසති.
කෙසේ වෙතත්, සමහර දේශගුණික ආකෘති මඟින් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් පෙන්නුම් නොකරන බැවින්, එල්නිනෝ හි ප්‍රබලතාවය පිළිබඳව දැනට නිශ්චිතවම කිව නොහැකි බව ද ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට ප්‍රකාශ කළේය.
දේශගුණික විපර්යාස හේතුවෙන් එල්නිනෝ රටාවල වාර ගණන හෝ තීව්‍රතාවය ඉහළ යන බවට නිශ්චිත සාක්ෂි නොමැති වුවද, ඒ ආශ්‍රිතව ඇති වන අධික තාප තරංග සහ අධික වර්ෂාපතනය වැනි බලපෑම් වඩාත් දරුණු කිරීමට එයට හැකියාව ඇති බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
