වැසි තත්ත්වයේ අඩුවීමත් සමග ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට

වැසි තත්ත්වයේ අඩුවීමත් සමග ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට

June 2, 2026   09:44 am

පසුගිය දින කිහිපයේ වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමත් සමග ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ වැසි තත්ත්වයේ අඩු වීමත් සමග දිවයින පුරා ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවය.

මේ හේතුවෙන් කිසිදු ගංගාවක ගංවතුර ආපදාවක් නොමැති බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තෙත් කලාපයේ පමණක් සුළු වර්ශාපතන තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා අනෙකුත් සියලු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවද පැවසීය.

ඉදිරි දින කිහිපයේද සාමාන්‍ය අඩු වර්ෂාපතනයක් පුරෝකථනය කරන බැවින් ගංවතුරක් හෝ එවැනි අවධානමක් මතුනොනවන බවත් ඉදිරි කාලගුණික තත්ත්වය සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.