පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර සිදුකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි
May 27, 2026 04:12 pm
පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර ක්‍රියාත්මක සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ ජාලයක් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක්කරමින් පොලීසිය සඳහන් කළේ, එම බළකාගේ සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය වෙත ලද තොරතුරකට අනුව මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
එහිදී පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිතා කරමින් යවන ලද කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට මෙහිදී හැකිව ඇත.
මෙම ක්‍රියාකාරකම් මගින් පොලිසියේ කීර්තිනාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන අතර, මෙවැනි සැකකටයුතු, තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් (Email) සම්බන්ධයෙන්,
අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙසටත්
එම පණිවිඩවලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් වැළකී සිටින ලෙසටත්
එම ඊමේල් පණිවුඩවල ඇති සබැඳි (Links)වලට පිවිසීමෙන් වළකින ලෙසටත්
මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලිසියේ පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ පොලිස් විශේෂ කාර්ය බළකායවෙත වහාම දැනුම්දීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දන්වා සිටියි.
මහජනතාවගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය වෙනුවෙන්, මෙම වංචනිකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය උපරිම අයුරින් ක්‍රියා කරන බවත්, ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
