රටවල් තුනකට කැනඩාවෙන් තාවකාලික සංචාරක තහනමක්
May 27, 2026 08:00 am
ඉබෝලා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩාව තීරණය කර තිබේ.
ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බදාදා සිට දින 90ක කාලයක් සඳහා කැනඩාවට ඇතුළුවීම තහනම් කෙරේ.
කැනඩා රජය පවසන්නේ, ඉබෝලා වෛරසය කැනඩාවට ඇතුළු වීම සහ රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ Bundibugyo වර්ගයේ ඉබෝලා වෛරස් ප්‍රභේදය ජාතික වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම "ඉතා ඉහළ" මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.
මේ අතර, පසුගිය සතියේ අමෙරිකාව ද මෙම රටවල් තුන වෙත පසුගිය සතිවල සංචාරය කළ අමෙරිකානු නොවන පුරවැසියන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම පීඩාවට පත් ප්‍රදේශවල රැඳී සිටි, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන කැනඩා පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ අනෙකුත් විදේශීය වැසියන්ට මැයි 30 වනදා සිට දින 21 ක කාලයක් නිරෝධායනය වීමට සිදුවනු ඇත.
අමෙරිකාව, කැනඩාව හෝ බහමාස් රාජ්‍යයෙන් මේ දක්වා කිසිදු ඊබෝලා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
