පොලිතින් මලුවලින් අයකරන බදු මුදල් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පොලිතින් මලුවලින් අයකරන බදු මුදල් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

May 15, 2026   04:07 pm

සුපිරි වෙ‍ෙළඳසැල් ඇතුළු වෙ‍ෙළඳ ආයතනවලින් පාරිභෝගිකයන්ට ෂොපින් මලු අලෙවි කිරීමෙන් ලැබෙන බදු මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම පැමිණිල්ල පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණි. 

පෙත්සම අද (15) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ  මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස නියම කළේය. 

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ පාරිසරික සංරක්ෂණ බදු පනතට අනුව සුපිරි වෙළඳසැල් ඇතුළු වෙ‍ෙළඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට අලෙවිකරණ ෂොපින් මලු සඳහා අය කරනු ලබන බදු මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂක අරමුදලකට බැර විය යුතු බවය. 

නමුත් වර්තමානයේ එවැන්නක් සිදු නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය නීතියට පටහැනි බවත් සඳහන් කළේය. 

ඒ අනුව අදාළ බදු මුදල් රජය විසින් ස්ථාපිත කර තිබෙන පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.