බත්තරමුල්ලට රජයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් - “Little Roots” විවෘත කෙරේ

May 8, 2026   10:49 am

බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය සේවකයින්ගේ දරුවන් සඳහා ඉදි කළ නව රජයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරිණි.

සමස්ත චීන කාන්තා සම්මේලනය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය වෙත ප්‍රදානය කළ භාණ්ඩ සහ උපකරණ උපයෝගී කර ගනිමින්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හි “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ මෙම මධ්‍යස්ථානය ඉදි කර තිබේ.

“Little Roots” නමින් පෙර පාසලක්ද සහිතව ආරම්භ කළ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කළ සමූහ ව්‍යාපෘතියකි.

ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතනවල සේවයේ නියුතු නිලධාරීන්ගේ පහසුව සඳහා ඉදි කළ මෙම මධ්‍යස්ථානය මුල් අදියරේදී පාර්ලිමේන්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සඳහා විවෘත කෙරෙන අතර, ඉදිරියේදී එය තවත් පුළුල් කිරීමට නියමිතය.

මෙම මධ්‍යස්ථානය කාර්යබහුල රාජ්‍ය සේවකයින්ට සහාය වීමත්, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ සුභසාධනය තහවුරු කිරීමත් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජිතයින් සහ දෙමව්පියන් රැසක් එක්ව සිටියහ.