රුපියල් කෝටි 80කට වැඩි මුදලක් අතුරුදන්වෙලා, ආණ්ඩුව තවම නිදි - නාමල්
May 8, 2026 07:46 am
මුදල් අමාත්‍යාංශයට අදාළ ගනුදෙනුවකදී රුපියල් කෝටි 80කට අධික මුදලක් අතුරුදන් වී ඇතැයි චෝදනා කරමින්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ හොරණදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජනාධිපතිවරයා විසින් පත් කළ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ක්‍රියාමාර්ග හේතුවෙන් එම මුදල් අතුරුදන් වී ඇති බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ, අදාළ සිද්ධිය පිළිබඳ ජනවාරි මාසයේ සිට දැනුවත් කර තිබියදීත් වගකිවයුතු පාර්ශ්වයන් නිසි පියවර ගෙන නොමැති බව ද ප්‍රකාශ කළේය.
“කෝටි 80කට වඩා වැඩි මුදලක් අතුරුදන් වෙලා. ඩොලර් අගය ඉහළ ගියොත් ඒ වටිනාකම තවත් වැඩි වෙන්න පුළුවන්. ඒත් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ ආණ්ඩුව තවම නිදි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ආයතන කිහිපයකම සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතුව ඇති බව ද පෙන්වා දුන් නාමල් රාජපක්ෂ, “පික්පොකට් න්‍යාය පත්‍රය දැන් හැකර් න්‍යාය පත්‍රයක් බවට පත්වෙලා” යනුවෙන් ද චෝදනා කළේය.
ආණ්ඩුව ජනතා ගැටලු විසඳීම වෙනුවට දේශපාලන මර්දනයට වැඩි අවධානයක් යොමු කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
