වනාන්තරයක් එළිපෙහෙලි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
May 7, 2026 01:49 pm
නාකොළගනේ පුරාණ රජ මහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප, පෙහෙළි කර ඒවා වාණිජ වගාවන් සඳහා පෞද්ගලික පාර්ශ්ව වෙත ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වයඹ පළාත් පරිසර අධිකාරිය ගම්වාසීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව විනාශ වූ වනාන්තර පිහිටි ප්‍රදේශ යළි පෙර පැවති තත්ත්වයට පත්කිරීම සඳහා වනවගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දැරීමට සිදුවන වියදම මෙම තීන්දුව නිකුත් වී මාස තුනක් ඇතුළත නාකොළගනේ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති වලත්වාවේ රාහුල හිමියන් වෙත දැනුම් දියයුතු බවත් නියෝග කර ඇත.
එම දැනුම්දීම ලැබී මාස තුනක් ඇතුළත අදාළ මුදල විහාරාධිපති හිමියන් විසින් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ගෙවිය යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ.
මෙම වන විනාශය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා ජාතික පුවත්පත්වල භාෂා තුනකින් දැන්වීම් පළ කිරීමට පියවරගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරියට නියෝග කර ඇත.
එමෙන්ම අදාල විහාරස්ථානයේ ආසන්නයේ පිහිටි හෙක්ටයාර 55 ක වනාන්තර කලාපය අලි රක්ෂිතයක් හෝ අභයභූමියක් බවට ප්‍රකාශයට පත් කරන ලෙස විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කර තිබේ.
